

සිකුරාදා පාසලේ අධ්‍යාපනය පිලිබඳ හැඳින්වීමක්
අබුඩාබි සිකුරාදා පාසල වසර ගණනාවක සිට අද දක්වා ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරන අභිමානවත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විදේශයක පවතින ප්‍රථම දහම් පාසල අබුඩාබි සිකුරාදා පාසල යි. සිංහල, බුද්ධධර්මය, සහ අපේ උරුමය යන ප්‍රධාන විෂයයන් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා දරුවන් ඉගෙන ගනු ලබයි. පාලි, අභිධර්මය, බෞද්ධ සංස්කෘතිය, ආදී විෂයයන් 7 ශ්‍රේණියේ සිට ඉන් ඉහළ දරුවන් ඉගෙන ගන්නා අතර, 6 ශ්‍රේණිය සහ ඉන් ඉහළ සියලු ශ්‍රේණිවල දරුවන් ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් පවත්වන දහම් පාසල් රජයේ විභාගයන් සඳහා සෑම අවුරුද්දකම පෙනී සිටිමින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීම අබුඩාබි සිකුරාදා පාසලට ඉමහත් ගෞරවයකි.
සිංහල භාෂාවට මුල් තැන දෙමින් පවත්වාගෙන යන මෙම දහම් පාසලේ බෞද්ධ දරුවන් පමණක් නොව ඉස්ලාම්, කතෝලික ආගම් අදහන දරුවන්ද අධ්‍යාපනය ලැබීම සතුටට කරුණකි. ශ්‍රී ලංකාවේ 2016- 2017 සිංහල නව විෂයය නිර්දේශයට අනුව පස් රූල් ක්‍රමය යටතේ අබුඩාබි සිකුරාදා පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය සකස් කර ඇති අතර, ඒ සඳහා විශේෂ පුහුණුක් ලැබූ ගුරු මණ්ඩලයක් විසින් එම කාර්යය මෙහෙය වනු ලබයි.
3 වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල දරුවන් සඳහා සියළුම ව්‍යාකරණ නීති රීති { උදා:- උක්ත ආඛ්‍යාත පද, කාල භේදය, පුරුෂ භේදය, පෞද්ගලික ලිපි, රාජකාරී ලිපි, දැන්වීම්, රචනා, ආදී.......} උගන්වනු ලබයි. ශ්‍රී ලාංකික දරුවකුට අවශ්‍ය වන සිංහල භාෂා හැකියාව ප්‍රගුණ කරවීමට සිකුරාදා පාසලින් දෙනු ලබන මෙහෙය අතිමහත්ය. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවද මෙහි අධ්‍යාපනය ලබන සියලු ශ්‍රී ලාංකික දරුවන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට දක්වන දක්ෂතාවය ඉතා ප්‍රසංශනීය යි.
1 වන ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය වන තෙක් ලංකාවේ සියලු ශ්‍රේණි වලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන දහම් පාසල් පොත් අබුඩාබි සිකුරාදා පාසලේ ද දරුවන්ගේ අධ්‍යන කටයුතු සඳහා යොදා ගැනේ. තවද ගාථා, සුත්‍ර, ආදියද, ශ්‍රී ලාංකික දරුවන්ට අවශ්‍ය සාර ධර්ම ආදී සියලු ආගමික කරුණු ද දරුවන්ට ඉගෙනීමේ හැකියාව මෙම දහම් පාසලින් ලැබී ඇත.
අපේ උරුමය ප්‍රධාන විෂයයක් ලෙස ඉගැන්වෙන අතර ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ අපේ උරුමයන් පිළිබඳ දීර්ඝ ලෙස හැදෑරීමට දරුවාට ඉඩ ප්‍රස්තාව ලැබී ඇත. මෙහිදී විජය රජුට පෙර පැවති ශ්‍රී ලංකාවේ ඉතිහාසය මෙන්ම පසු කාලීන ඉතිහාසය ද, සියලු රාජවංශ පිලිබඳව ද, යටත් විජිත පාලන යුගයන්, සිංහලයේ නිදහස් සටන් ව්‍යාපාර ආදිය, ජාතික වීරවරයන්, ශ්‍රී ලකාවේ ජීවත්වන විවිධ ජනවර්ගයන් හා ඔවුන්ගේ සංස්කෘතීන් මෙන්ම ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය, පුරාණ සිද්ධස්ථාන මෙන්ම, ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රික්ක, ගංගා, දිය ඇලි පිළිබඳව ආදී විශාල විෂය පරාසයක් දරුවාට ඉගෙන ගැනීමට මෙම දහම් පාසලින් ඉඩ ප්‍රස්තාව ලැබී ඇත. මව් රටින් බැහැරව විදේශ රටක වෙසෙන අපේ දරු දැරියන් හට අපේ රටේ උරුමයන්, සංස්කෘතිය, සිංහල භාෂාව, බෞද්ධ දර්ශනය ආදිය ඉගෙන ගැනීමට අවකාශ ලබාදීම අබුඩාබි සිකුරාදා පාසල මඟින් සිදුවන මහඟු කර්තව්‍යයකි.
අබුඩාබි සිකුරාදා පාසල වර්තමාන තත්වයට ගෙන ඒම සඳහා සිය කාලය, ශ්‍රමය, ධනය කැපකරමින් දිවා රාත්‍රී වෙහෙසෙමින් පාසල ආරම්භයේ පටන් කටයුතු කළ සියළුම දෙනාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.