top of page

සිකුරාදා දහම් පාසලේ ඉතිහාසය

දහම් පාසැල් ඉතිහසයෙන් බිදක්
tfile_gall_1_91-big.jpg

අබුඩාබි දහම් පාසලෙහි ඉතිහාසය අවුරුදු 20 කට වඩා ඈත අතීතයකට දිව යයි. එම ඉතිහාසය සම්බන්ධව කතා කිරීමේදී අබුඩාබියේ සිංහල තරුණ කැල ගැන සඳහන් නොකර සිටිය නොහැක. එයට හේතුව දහම් පාසල බිහිවුයේ එම සංවිධානය හරහා බැවිනි. අරුණ කිත්සිරි මහතාගේ මුලිකත්වයෙන් 1985 වසරේදී මෙම සංවිධානය ආරම්භ කරන ලදී.

එවකට අබුඩාබියේ විසු ‍‍‍‍බෞද්ධ ජනතාවට ‍වැඳුම් පිදුම් කිරීමට සුදුසු ස්ථානයක් නොමැති වීම විශාල අ‍ඩු පාඩුවක්ව පැවතුනි. එයට පිළියමක් වශයෙන් සිංහල තරුණ කැල මඟින් 1986 වසරේදී ශ්‍රි ලංකා තානාපති කාර්ය්‍යාලයට අනුබද්ධිතව බෞද්ධ විහාරයක් ස්ථාපිත කිරීම ආරම්භ කරන ලදි. එම විහාරය එවකට කලිදියා ප්‍රදේශයේ පැවැති තානාපති කාර්ය්‍යාලයේ ඉහල මාලයේ පවත්වාගෙන යන ලදි. විහාරය නිර්මාණය කිරීම සඳහා අරුණ කිත්සිරි, චුලා ප්‍රනාන්දු, අජිත් සමරසිංහ, නිහාල් හෙට්ටිආරච්චි, කුසුම් පින්නදුව, අනුර නන්දිවීර යන මහතුන් ඇතුළු තරුණ කැ‍ලෙහි සාමාජිකයින් සියළු දෙනාගේ සහයෝගය ලැබුණු අතර ඇන්ටන් විසිදාගම, නොයෙල් ප්‍රනාන්දු සහ මෙන්ඩිස් මහතා යනාදි කිතුණු බැතිමතුන්ගෙන්ද ලැබුණු සහය අමතක කළ නොහැක. විහාරස්ථානයේ තැන්පත් කිරීම පිණිස බුදු පිළිම වහන්සේ වැඩම කරවනු ලැබුයේ මංගලා හෙට්ටිආරච්චි මහත්මිය විසිනි. අබුඩාබියේ සැදැහැවත් බෞද්ධයින්ගේ සිත් අමන්දානන්දනයට පත් කරවමින් එවකට සිටි ගරු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුජ්‍ය ගරු මාදුළුවාවේ සෝභිත ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසින් 1987 වසරේදී විහාරස්ථානය උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී.

 එකල මෙරට සේවයෙහි යෙදී සිටි බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ දු දරුවෝ 1980 දශකයේ සිට ඉංග්‍රීසි බසින් මෙහි අධ්‍යාපනය හදාරමින් සිටියහ. ඔවුන් තුල සිංහල භාෂාව සහ බුදු දහම පිළිබඳ දැනුමක් නොමැති බව බොහෝ දෙමව්පියන්ට ගැටළුවක්ව පැවතිණි. මෙම අඩුව පිරිමැසීම පිණිස 1990 දශකය ආරම්භය වන විට ඇතැම් දෙමව්පියන් එකතු වී තානාපති කාර්ය්‍යලය තුල සිංහල භාෂා සහ බුදු දහම් පන්ති ස්වේව්ඡාවෙන් පවත්වාගෙන යමින් තිබිණි. කෙසේ වුවද මෙම පන්ති ක්‍රමානුකුලව නොපැවැත්වුණු හෙයින් සංවිධානාත්මකව මෙය කරගෙන යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අරුණ කිත්සිරි මහතා, සනත් ජයසූරිය මහතා සහ ගාමිණී ළිඳ‍ගෙදර මහතා මූලික වී 1991 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලයට අනුබද්ධිතව අබුඩාබි දහම් පාසල ස්ථාපිත කරන ලදි.

tfile_gall_1_91-big.jpg
tfile_gall_1_92-big.jpg

ළමුන් 4 දෙනෙකුගෙන් ආරම්භ වූ දහම් පාසලෙහි ප්‍රථම ගුරුතුමාත් ප්‍රථම ප්‍රධානාචාර්ය්‍ය තූමාත් වූයේ ජී. ඩී. වික්‍රමරත්න මහතාය.‍ එම මුල් ළමුන් අතර ඔජිත් වීරසිංහ සහ සචිනි ජයසිංහ ද වූහ‍. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් දහම් පාසලෙහි ළමුන් සංඛ්‍යාව වැඩි වූ අතර පරිපාලන කටයුතු කමිටුවක් මඟින් සිදු කරන ලදි. දර්ශණ සිල්වා මහතා සහ ශාමිණී සිරිවර්ධන මහත්මිය මුල් අවධියේ දී ගුරු මණ්ඩලයට එක් වූහ. 2002 මැයි මස දහම් පාසලෙන් සමුගෙන ආපසු මව් රට බලා යන ‍‍තෙක් අබුඩාබියෙහි විසූ ශ්‍රී ලාංකික දු දරුවන් වෙනුවෙන් වික්‍රමරත්න මහතා විසින් කරන ලද අමිල සේවය වෙසෙසින් පැසසිය යුත්තකි.

ඉහත සඳහන් කරනු ලැබූ කමිටුවට අරුණ කිත්සිරි, ශ්‍රියාණි ජයසිංහ, සුබසිංහ, රාමනායක, සිඩ්නි, දයානිස් යන මහත්ම මහත්මීන් ඇතුළු කිහිප දෙනෙක් සම්බන්ධ වී සිටියහ. පසුව සම්බන්ධ වූ ලාල් දල්පචිත්‍ර මහතාගෙන් ද සිදුවූයේ මහඟු සේවයකි. එවකට දහම් පාසල් ළමුනට අධ්‍යාපන කටයුතු සඳහා තානාපති කාර්ය්‍යලයට යාම ඒම දුෂ්කර කාර්ය්‍යක් විය. මෙම ගමනා ගමන කටයුතු සම්බන්ධීකරණය කරමින් දල්පචිත්‍ර මහතා විසින් සුවිශේෂී මෙහෙයක් ඉටු කරන ලදී.

ආරම්භයේ සිට දහම් පාසලෙහි විෂය මාලාවට ඇතුලත් වූයේ සිංහල භාෂාව, අපේ උරුමය සහ බුද්ධ ධර්මය යන විෂයයන්ය. එමෙන්ම මුල් අවදියේ දහම් පාසල පවත්වනු ලැබුවේ මසකට දෙදිනක් පමණි, එනම් සිකුරාදාවක් හැර සිකුරාදාවක් උදේ 10.00 සිට පස්වරු 1.30 දක්වා. දෙමව්පියන්ගේ ඉල්ලීම මත එම කාල වේලාව පසුව උදේ 9.00 සිට 12.30 ලෙස වෙනස් කරන ලද අතර 1990 දශකයේ අග වන විට මසකට දින තුනක් පන්ති පැවැත්වීමට කටයුතු යොදන ලදි.

1994 වසරේදී බන්දුල මෙන්ඩිස් මහතා ගුරු මණ්ඩලයට ඇතුලත් කර ගත් අතර, පසු කලෙක ප්‍රදීප් නිශාන්ත මහතා, අජිත් වික්‍රමසිංහ (වලකඩගේ) මහතා සහ ටිකිරි තෙන්නකෝන් මහත්මියද සම්බන්ධ වූහ. 1994 වසරෙහි අගදී දර්ශණ තලගල මහතා ගුරුවරයෙක් වශයෙන් සම්බන්ධවීමත් සමඟ දහම් පාසලෙහි යම් වෙනසක් සිදුවිය. එනම් ඒ මහතා විසින් සංගීතය, නැටුම් වැනි සෞන්දර්ය්‍යාත්මක විෂයයන් හඳුන්වා දීමයි. මෙම නව විශයයන් ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වූ අතර වසර 2000 පමණ වන විට දහම් පාසල් විෂය ධාරාවෙහි ප්‍රධාන අංගයන් බවට පත්ව තිබුණි. ඉන් පෙර සංගීත අංගයක් වශයෙන් පැවතුනේ දහම් පාසල් ළමුන් විසින් වෙසක් භක්ති ගීත ගායනා ඉදිරිපත් කිරීමය. එය 1992 සිට වසරක් පාසා නොකඩවා පැවත එන්නකි. තලගල මහතා විසින් මෙය තව දුරටත් ව්‍යාප්ත කොට ශ්‍රී ලංකීය නිදහස් උත්සවයන් සමරන අවස්ථාවන්හිදී දහම් පාසල් දරුවන් මගින් සංස්කෘතික අංග ඉදිරිපත් කරවන ලදී. මේ වෙනුවෙන් නැටුම් පුහුණු කරන ලද්දේ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සහ මාලී විජේසිංහ මහත්මිය විසිනි. තලගල මහතාගේ කලා කටයුතු සඳහා අජිත් වලකඩගේ මහතාගේ ද සහය ලැබුණි. ඔවුන් දෙදෙනාම වික්‍රමරත්න මහතා නොමැති අවස්ථාවලදී වැඩ බලන ප්‍රධානාචාර්ය්‍යවරුන් ලෙස කටයුතු කර ඇති අතර 2001 වසරේදී දහම් පාසලෙන් සමුගත්හ.

tfile_gall_1_93-big.jpg

ගරු තානාපති ජනක බණ්ඩාර නක්කාවිට මැතිතුමා (අභාවප්‍රාප්ත) දහම් පාසල් දරුවන් අමතමින් (2002 නොවැ. 02)

tfile_gall_1_94-big.jpg

වික්‍රමරත්න මැතිතුමා දහම් පාසලෙන් සමුගත් දින ගුරු මණ්ඩලය සමඟ ගත් ඡායාරූපයක් (2002 මැයි) (වම්පස සිට) නදී ගංගා මහත්මිය, සේපාලි මිහිඳුකුලසූරිය මහත්මිය, වික්‍රමරත්න මහතා (නික්ම ගිය ප්‍රධානාචාර්ය්‍ය), බන්දුල මෙන්ඩිස් මහතා (නව ප්‍රධානාචාර්ය්‍ය), තිලක් දයානාත් මහතා, ප්‍රදීප් නිශාන්ත මහතා (අයෝනා මහත්මිය ඡායාරූපයේ නැත)

වසර 2001 වන විට රම්‍යා හෙට්ටිආරච්චි මහත්මිය, නදී ගංගා මහත්මිය, අයෝනා මහත්මිය, සේපාලි මිහිඳුකුලසුරිය මහත්මිය, මායාදුන්නගේ මහතා සහ තිලක් දායානාත් මහතා ගුරු මණ්ඩලයට එක් වී සේවය කරමින් සිටියහ. 2002 වසර මුල වන විට දහම් පාසලෙහි යම් සංශෝධනයක් ඇති විය යුතු බව බොහෝ දෙමව්පියනට සහ ගුරු මණ්ඩලයට වැටහී තිබුණි.‍

එමෙන්ම නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයද මතු වී තිබුණි. බොහෝ දෙමව්පියන්ගේ අදහස වුයේ, ආරම්භයේදී මෙන් දහම් පාසලෙහි අධ්‍යාපනය සිංහල භාෂාව, ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ බුදු දහමට පමණක් සීමා කළ යුතු බවය. මේ සම්බන්ධව රැස්වීම් කිහිපයක්ම පවත්වා සාකච්ඡා කිරීමට යෙදුණු අතර, දෙමව්පියන්ගේ යෝජනා ද ඇතුලත්ව රණවීර මහතා විසින් සකස් කරන ලද නව ව්‍යවස්ථාව 2002 අ‍ප්‍රේල් 05 වන දින පැවැති ගුරු දෙගුරු රැස්වීමේදී ඉදිරිපත් කරන ලදුව එය සභා සම්මත විය‍.ව්‍යවස්ථාව සම්මත කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අනුර සිරිසේන මහතා විසිනි. රූපිකා ලියනගේ මහත්මිය විසින් එය ස්ථිර කරන ලදි. ඉන්පසු එවකට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති ගරු ජනක බණ්ඩාර නක්කාවිට මැතිතුමාගේ අත්සනින් යුතුව එම ව්‍යවස්ථාව දහම් පාසලෙහි නව ව්‍යාවස්ථාව ලෙස අනුමත විය.

නව ව්‍යවස්ථාවට අනුව සත් දෙනෙකුගෙන් සමන්විත පහත නම් සඳහන් ප්‍රථම කාරක සභාව (දෙමව්පිය කමිටුව) එදින (2002 අප්‍රේල් 05 දින) දෙමව්පියන් සහ ගුරු මණ්ඩලය මගින් තෝරා පත් කර ගන්නා ලදී.

  1. වික්‍රමරත්න මහතා (ප්‍රධානාචාර්ය්‍ය - අනිවාර්ය්‍ය)

  2. රෝහණ පෙරේරා මහතා (ගරු ලේකම්)

  3. අජිත් හේමසිරි මහතා (ගරු භාණ්ඩාගාරික)

  4. නෙල්සන් විජයබන්ධු මහතා

  5. අනුර නන්දිවීර මහතා

  6. රොහාන් අබේසුන්දර මහතා

  7. ජීවනී රත්නපාල මහත්මිය

tfile_gall_1_95-big.jpg

"නව ව්‍යාවස්ථාවට අනුව පත් වූ ප්‍රථම කමිටුව ගුරු මණ්ඩලය සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින්. (පසු පෙල වමේ සිට) අජිත් හේමසිරි මහතා (ගරු භාණ්ඩාගාරික), රොහාන් අබේසුන්දර මහතා (කමිටු සාමාජික), තිලක් දයානාත් මහතා. ( අසුන් ගෙන වමේ සිට) බන්දුල මෙන්ඩිස් මහතා, ප්‍රදීප් නිශාන්ත මහතා, වික්‍රමරත්න මහතා, ‍විජයබන්ධු මහතා (කමිටු සාමාජික), රණවීර මහතා , ජීවනී රත්නපාල මහත්මිය (කමිටු සාමාජිකා), සේපාලි මහත්මිය. (ගරු ලේකම් රෝහණ පෙරේරා මහතා මෙම ඡායාරූපය ගත් අතර කමිටු සාමාජික අනුර නන්දිවීර මහතා ඡායාරූපයේ නැත)"

tfile_gall_1_96-big.jpg

"2002 වසරේ වෙසක් ශීල ව්‍යාපාරය දින"

මේ අතර 1999 දක්වා දහම් පාසලහි උගන්වා නික්ම ගොස් නැවත අබුඩාබියට පැමිණි බන්දුල මෙන්ඩිස් මහතා රණවීර මහතාගේ සහ රෝහණ පෙරේරා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් දෙමව්පියන් විසින් 2002 මැයි මසදී නව ප්‍රධානාචාර්ය්‍ය ලෙස පත් කර ගන්නා ලදී.

ළමුන්ගේ කලා කටයුතු දියුණු කිරීම වෙනුවෙන් ද යම්කිසි ක්‍රමවේධයක් ක්‍රියාත්මක කළ යුතු බවට පියරත්න මහතා විසින් යෝජනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2002 වසර මුලදී පමණ කලා කවය බිහි විය. කෙසේ වුවද කලා කවයෙහි වැඩ කටයුතු දහම් පාසලෙන් බාහිරව කළ යුතු බවට ජීවනී රත්නපාල මහත්මිය විසින් යෝජනා කරන ලදුව එහි පංති මාසයේ අවසාන සිකුරාදා දිනයේදීත් දහම් පාසල මුල් සිකුරාදා දිනවලදීත් පැවැත්වීමට තීරණය විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන ඕනෑම ආගමකට හෝ ජාතියකට හෝ අයත් ශ්‍රී ලාංකීය දරුවනට අබුඩාබි දහම් පාසලෙහි සහ කලා කවයෙහි අධ්‍යාපනය ලැබිය හැක. කලා කවයෙහි වැ‍ඩ කටයුතු පරිපාලනය කිරීමේ ප්‍රථම කමිටුවට පහත සඳහන් මහත්ම මහත්මීන් ඇතුලත් වූහ.

  1. ශ්‍රියානි ජයසිංහ මහන්මිය

  2. අජිත් වලකඩගේ මහතා

  3. මාලී විජේසිංහ මහත්මිය

  4. ප්‍රදීප් විජේසිංහ මහතා

  5. කුසුම් පින්නදූව මහතා

කලා කවයෙහි විෂයයන් අතර ප්‍රධාන වශයෙන් චිත්‍ර කර්මය, ගායනය සහ නර්තනය ඇතුලත් විය. සෑම වසරකම පෙබරවාරී 04 වන දින හිමිදිරි උදෑසන ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාල පරිශ්‍රයේ දී ජයමංගල ගාථා සහ ජාතික ගීය ගැයීම කලා කවයෙහි දරු දැරියන් විසින් කරගෙන එන ලදි. එමෙන්ම නිදහස සැමරීමේ සංස්කෘතික සංදර්ශණ සංවිධානය කරනු ලැබුවේද කලා කවය මඟිනි. කෙසේ වුවද ගරු ජනක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමා තානාපති ලෙස පත්ව ආපසු මෙහි වෙනසක් ඇති විය. එතුමාගේ සංකල්පය වූයේ සියළුම සංස්කෘතික සංදර්ශණ සහ ජාතික උත්සව වෙනස් සංවිධාන මඟින් නොපවත්වා, විවිධ ජන කොට්ඨාශයන්ගෙන් සමන්විත වූ තනි සංවිධානයක් යටතේ ඉදිරිපත් කළ යුතු බවය. ඒ සඳහා මූලික අඩිතාලම දැමුණු නමුත් අවාසනාවකට මෙන් එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික හේතූන් මත, සිය නිල සේවා කාලය නිම කිරීමට මත්තෙන් එතුමා හට නැවතත් මව් බිමට යාමට සිදු විය.

දහම් පාසලෙහි ඉගෙනුම ලැබූ දරුවන් ගණන සහ පංති ගණන වැඩිවත්ම එවකට තානාපති කාර්ය්‍යාලය පැවැති ගොඩනැගිල්ලෙහි ඉඩ පහසුකම් මද වීම ගැටළුවක් විය. වසර 1997 දී පමණ ගරු තානාපති සම්සුධීන් මහතා විසින් තානාපති කාර්ය්‍යාලය අබුඩාබිහි ජවාසත් පාර අසල විශාල ගොඩනැගිල්ලකට ගෙන යෑමෙන් එම ගැටළුව විසඳුනි. කෙසේ වුවද ළමුනට හොඳින් වාඩි වී ලිවීමට අවශ්‍ය ප්‍රමාණයට මේස සහ පුටු නොතිබීම තවත් ගැටළුවක් බවට පත් විය. පහළ පංති වල කුඩා දරුවනට ලිවීමට සහ කියවීමට සිදුවූයේ බිම පැදුරු එලාගෙනය. 2003 වසරේදී හෙළබිම සංවිධානයේ අශෝක විජේසේකර මැතිතුමා විසින් කුඩා ළමුනගේ ප්‍රයෝජනය සඳහා මේස සහ බංකු පරිත්‍යාග කරන ලදුව මේ දක්වා 1 වන 2 වන සහ 3 වන පංති වල දරුවෝ ඒවා පරිහරණය කරනු ලබත්. පසුව අනිල් වීරසේන මහතා විසින් 2004 වසරේදී ඉහළ පන්ති වල ලමුන් සඳහා වඩා උසැති මේස සාදවා පරිත්‍යාග කරන ලදි. එමෙන්ම යම් යම් අවස්ථාවලදී මතු වූ අවශ්‍යතාවයන්ට අනුව දෙමව්පියන් වූ ශාන්ත වීරසිංහ, නුරේන්ද්‍ර පෙරේරා, කමල් ලියනගේ යන මහත්වරුන්ද, එමෙන්ම ප්‍රසාද් බණ්ඩාර, ෆ්‍රයිකෝ ආයතනයේ වික්ටර් සිල්වා, අබුඩාබි විහාරස්ථ දායක සභාවේ සරත් යන මහත්වරුන් විසින් කරන ලද පරිත්‍යාගයන්ද අමතක කළ නොහැක. එසේම හිටපු ශී්‍ර ලංකා තානාපති ගරු ලලිත් හෙට්ටිආරච්වි මැතිතුමා විසින් කරන ලද පෞද්ගලික ධන පරිත්‍යාගයන්ද සඳහන් කළ යුතුය. හෙළබිම සංවිධානය මගින් දහම් පාසල් දරුවන් වෙනුවෙන් වටිනා පොත් රැසක් ද පරිත්‍යාග කරන ලදි.

යම් රාජ්‍ය තාන්ත්‍රික හේතුන් මත තානාපති කාර්ය්‍යාලය 2004 වසරේ දී නැවතත් වෙනත් ස්ථානයකට ගෙන යාමට සිදු විය. මෙවර එය ගෙන යනු ලැබුවේ අබුඩාබිහි ඉලෙක්ට්‍රා අසළ ස්ථානයකටය. නව ගොඩනැගිල්ල බෙහෙවින් කුඩා වූ බැවින් දහම් පාසලෙහි ඉඩ පහසුකම් පිළිබඳ ප්‍රශ්ණය නැවතත් මතු විය. කෙසේ වුවද එහි බිම් මහල සුදුසු පරිදි සකස් කොට මේ දක්වා දහම් පාසල සාර්ථකව පවත්වාගෙන ඒමට දෙමව්පියන් විසින් කටයුතු සලසන ලදි. එවකට ගරු ලේකම්ව සිටි රණවීර මහතා ඇතුළු දෙමව්පිය කමිටුව එය සැලසුම් කළ අතර අනිල් වීරසේන මහතා විසින් කරන ලද කාර්ය්‍ය භාරය විශේෂයෙන් අගය කළ යුතුය.

දහම් පාසලේ අධ්‍යාපනික කටයුතු වලට අමතරව ආරම්භයේ සිට සෑම වසරකම වෙසක් භක්ති ගී ගායනා ඉදිරිපත් කිරීම දහම් පාසල් දරුවන් සියළු දෙනාගේම මූලික අංගයක් විය. මෙම බැති ගී සරණිය මුල් වරට පවත්වන ලද්දේ 1992 වෙසක් පොහොය නිමිති කර ගෙනය. වසර ගණනාවක් භක්ති ගීත සඳහා සංගීතය සපයමින් දරුවන් පුහුණු කරවනු ලැබුවේ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසිනි. ඇතැම් අවස්ථාවලදී රණවීර මහතා සහ නිලන්ත තරුණ මහතා තබ්ලා වාදනයෙන් ඇයට සහය විය. ප්‍රියන්ති ප්‍රියදර්ශණී මහත්මිය, නදී ගංගා මහත්මිය, සුනීතා කීර්තිරත්න මහත්මිය සහ කමල් ලියනගේ මහතා ඇතළු දෙමව්පියන් කිහිප දෙනෙක් භක්ති ගී පද රචනා සපයා ඇත. කළණ ද සිල්වා මහතා 2004 සහ 2005 වසර වලදී භක්ති ගීත සඳහා සංගීතය සැපයීම සහ පුහුණු කරවීම කරන ලද අතර ඉන් පසු 2007 සිට 2009 දක්වා අසෝක ජයවර්ධන මහතා ඒ සඳහා දායක වී ඇත‍. 2010 වසරේ දී කූඩාහෙට්ටි මහතාත් 2011 දී සුප්‍රසිද්ධ ගායක ප්‍රියනාත් රත්නායක මහතාත් සංගීතය සපයා ඇත‍. අසෝක මහතා හට ඕගන් වාදනයෙන් සහය දෙනු ලැබුවේ ශ්‍රීමාල් ද සිල්වා තරුණ දරුවාය. නිමල්කා ප්‍රනාන්දු මහත්මියත්, කළණ ද සිල්වා මහතා සහ ශ්‍රීමාල් ද සිල්වා තරුණ පුතුත් ක්‍රිස්තු භක්තිකයන් වුවද බෞද්ධාගමික උත්සවයන් වෙනුවෙන් ලබා දුන් සහයෝගය වෙසෙසින් පැසසිය යුතුය. එමෙන්ම ආපසු මව් රට බලා ගොස් සිටියදීත් 2012 වසරෙහි වෙසක් භක්ති ගීත සඳහා ගී පද වලට තනු නිර්මාණය කොට සංගීතය යොදා අප වෙත එවීම ගැන අසෝක ජයවර්ධන මහතාට ස්තූති වන්ත වෙමු.

tfile_gall_1_97-big.jpg

"2012 වසරේ මැදින් පොහොය නිමිති කොට පැවැත් වූ ශීල ව්‍යාපාරයට සහභාගි වු දහම් පාසල් දරුවන් එදින වැඩම කළ ආචාර්ය්‍ය මැදවල සරණපාල හිමියන් සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින්"

භක්ති ගීත ගායනය මෙන්ම, වසර ගණනාවක සිට දහම් පාසලේ බොහෝ දු දරුවන් වෙසක් සහ පොසොන් පොහො දින වල පෙහෙවස් සමාදන් වීමද කර ගෙන එන ලදි. ස්වාමීන් වහන්සේලා වැඩම කරවීම ඇතුළුව මෙම ශීල ව්‍යාපාරයන් සංවිධානය කරනු ලැබුවේ අබුඩාබි විහාරස්ථ දායක සභාව මගිනි.

Our Mission

මීට අමතරව දරුවන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ශීල ව්‍යාපාර 2007 වසරේ වප් පොහොයත්,2011 වසරේ මැදින් පොහොය සහ 2012 වසරේ නවම් පොහොයද නිමිති කොට දෙමව්පියන් විසින් සංවිධානය කරන ලදී. ඒ සඳහා දායක සභාවේ සහ තානාපති කාර්ය්‍යාලයීය සහයද නොමඳව ලැබුණි. මේ වසරේ නවම් පොහොය වෙනුවෙන් වැඩම කරවන ලද්දේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය්‍ය සහ දඹදෙණිය සාරිපුත්‍ර ජාතික අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය්‍ය ආචාර්ය්‍ය මැදවල සරණපාල හිමියන්ය. එමෙන්ම වරින් වර අබුඩාබියට වැඩම කරන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රුචිත් සාලුක කන්දගේ මහතාගේ නිවසහි සහ දර්ශන පරාක්‍රම රත්නායක මහතාගේ නිවසෙහි ද නවාතැන් පහසුකම් ලබා දී ඇත.

2004 වසරේදී දහම් පාසලට සම්බන්ධ වී ගුරු දෙගුරු කාගේත් සිත් දිනාගෙන සිටි රංග මල්ලව මහතා විසින් 2006 වසරේ දී රුවන් ප්‍රසාද් තරුණ මහතා ගුරු මණ්ඩලයට හඳුන්වා දෙන ලදි. ඉගැන්වීමෙහි දක්ෂ ගුරුවරයෙකු වූ රුවන් මහතා නොබෝ කලකින්ම සිසු සිසුවියන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය. විශේෂයෙන්ම පාලි සහ අභිධර්මය ඉගැන්වීම ඒ මහතා අතින් කෙරුණි. සුමධුර ලෙස ගාථා සජ්ඣායණය කිරීමේ හැකියාව හේතුවෙන් දහම් පාසල පැවැත්වෙන දින උදෑසන බුද්ධ පූජාව මෙහෙයවීමද ඒ මහතාට පැවරිණි. 2012 වසර මුලදි දහම් පාසලෙන් සමුගත් රුවන් කැළණියන්ගොඩ මහතා ආපසු මව් රට බලා ගියේය.

වසර 2003 දී දහම් පාසලට නව පරිච්ඡේදයක් උදා‍විය. එනම් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් බාහිරව පවත්වාගෙන යන ලද බෞද්ධ දහම් පාසලක් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව යටතේ ලියා පදිංචි කිරීමයි. මේ සඳහා රණවීර මහතා මුලිකව කටයුතු කළ අතර අබුඩාබි ෆ්‍රයිකෝ ආයතනයේ විකටර් සිල්වා මහතාගේ සහයද ලැබුණි. එමෙන්ම පුජ්‍ය උපාලි හිමි ශ්‍රී ලංකාවේ සිට ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි.

අබුඩාබි දහම් පාසල බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ‍යටතේ ලියා පදිංචි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දහම් පාසලෙහි සිසු සිසුවියන්ට එම දෙපාර්තමේන්තු‍ව මඟින් පවත්වනු ලබන ශ්‍රේණි විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව උදාවිය. මෙම විභාගය පවත්වනු ලබනුයේ 6 වන ශ්‍රේණියේ සිට ඉන් ඉහල ශ්‍රේණීන් සඳහාය. ඒ අනුව ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් පිටතදී එම විභාගය 2007 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලයේ නිලධාරි මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදි. මෙම විභාගය සඳහා 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබූ දූ දරුවන් 7 දෙනෙක් පෙනී සිටි අතර ඔවුහු විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත්හ. එතැන් සිට මේ දක්වා මෙම ශ්‍රේණි විභාග වසරක් පාසා නොකඩවා පවත්වාගෙන එනු ලැබේ.

ශ්‍රේණි විභාග පැවැත්වෙනුයේ සිංහල මාධ්‍යයෙන් බැවින් 6 වන පංතිය දක්වා පැමිණෙන විට දරුවන් හට සිංහල ලිවීමෙහි සහ කියවීමේ සෑහෙන පරිණත බවක් ඇති වී තිබිය යුතුය. මේ සඳහා අඩිතාලම වැටෙනුයේ 1 වන පංතියෙනි. 2002 වසරේදී රූපිකා ලියනගේ මහත්මිය ගුරු මණ්ඩලයට එකතු වීමත් සමඟ 1 වන පංතියේ දරුවන්ගේ සිංහල දැනුමෙහි ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. 2006 වසරේදී ඉනෝකා පෙරේරා මහත්මිය ඇයගේ සහයට එකතු විය. පළමු වන පංතියේ දී සිංහල හෝඩිය හොඳින් ඉගෙන ගත් දරුවන් හට 2 වන පංතියේදී චාන්දනී මහත්මිය සහ රමේෂා මෙනෙවිය විසින් තවත් පන්නරය ලබා දෙන ලදි. ඉන්පසු ඉහළ පන්ති වලට යන දරුවන්ට දක්ෂ ගුරු මහත්ම මහත්මීන් යටතේ සිංහල භාෂාව පිළිබඳ සැළකිය යුතු අවබෝධයක් ලැබෙන්නේය.

දශක දෙකකට අධික කාලයක් විවිධ කණ්ඩායම් වල සාමුහිකත්වයෙන් සාර්ථකව පවත්වා ගෙන එනු ලබන අබුඩාබි දහම් පාසල තවත් දශක ගණනාවක් ඉදිරියට අබුඩාබියෙහි වෙසෙන දරු දැරියනට බෞද්ධ දර්ශණය සහ සිංහල භාෂාව පිළිබඳ දැනුම ලබාදෙන ආයතනයක් වනු ඇතැයි අපේ පැතුම සහ අපේක්ෂාවයි.

 

අපගේ ස්තුතිය

  • අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලය නියෝජනය කළ ගරු තානාපති තුමන්ලා සහ කාර්ය්‍ය මණ්ඩලයන්.

  • අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලයේ වර්ථමාන තානාපති ගරු සරත් විජේසිංහ මැතිතුමා ඇතුළු කාර්ය්‍ය මණ්ඩලය.

  • බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගරු චන්ද්‍රපේම ගමගේ මැතිතුමා.

  • හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් ජන‍රාල් ගරු එච්. ඩබ්ලිව්. ඩී. සුනිල් මැතිතුමා.

  • බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුවේ දහම් පාසල් අංශයේ නියෝජ්‍ය කොමසාරිස් තුමන් සහ ආනන්ද මහතා, සුනිල් මහතා, ජයසුන්දර පෙරේරා මහතා ඇතුළු කාර්ය්‍ය මණ්ඩලය.

  • අරුණ කිත්සිරි මහතා ඇතුළු අබුඩාබි සිංහල තරුණ කැලෙහි සාමාජිකයින්.

  • ලාල් දල්පචිත්‍ර මහතා ඇතුළු අබුඩාබි විහාරස්ථ දායක සභාව.

  • අශෝක විජේසේකර (අභාවප්‍රාප්ත) මහතා, රන්දීප බෝදියාබදු මහතා ඇතුළු හෙළබිම සංවිධානය.

  • අබුඩාබි ෆ්‍රයිකෝ ආයතනය.

  • අනිල් වීරසේන මහතා, ආරියරත්න (ආරි) මහතා ඇතුළු ඩාබි ආයතනයේ මිතුරු කැල.

  • වෙබ් අඩවියේ පෙර අනුවාදය (previous version) වෙනුවෙන් ධම්මික ප්‍රභාත් පුස්සැල්ල මහතා සහ ඊට සහය දුන් තරංගා ප්‍රියංගනී මහත්මිය.

  • වෙබ් අඩවිය පිළිබඳ සංකල්පය ඉඳිරිපත් කළ වසන්ත කොඩිතුවක්කුආරච්චිගේ මහතා

  • චාමිණී වික්‍රමතිලක මහත්මිය - යුනිකෝඩ් මුද්‍රිත කටයුතු වෙනුවෙන්.

 

දහම් පාසලෙහි ආරම්භය පිළිබඳ තොරතුරු සපයන ලද්දේ පහත නම් සඳහන් මහත්වරුන් විසිනි.

  • කුසුම් පින්නදුව මහතා.

  • අජිත් සමරසිංහ මහතා.

  • ගාමිණී ළිඳගෙදර මහතා.

  • අනුර නන්දිවීර මහතා.

 

ඡායාරූප සපයන ලද අය:

  • රෝහණ පෙරේරා මහතා.

  • චන්දන මදනායක මහතා.

  • කුසුම් පින්නදුව මහතා

  • කීර්තිසිංහ මහතා.

  • ජීවනී රත්නපාල මහත්මිය.

  • සුමේධ රත්නපාල මහතා

  • රණවීර මහතා.

  • රෙන්සිල් ‍ෆොන්සේකා මහතා‍.

  • නදී ගංගා මහත්මිය.

  • සුබසිංහ මහතා.

  • සුදේශ් චන්දන පෙරේරා මහතා.

  • ජයක් අමරසුරිය මහතා 

  • ඉන්දික සේනකුමාර මහතා 

 

 

2019®  අබුඩාබි සිකුරාදා පාසල. සියළුම හිමිකම් ඇවිරිණ.

සිකුරාදා පාසල

Abu Dhabi Friday School is the first dhamma school registered in Government of Sri Lanka as a overseas entity. 

All the Government examinations are conducted at the school under the strict supervision of

Sri Lankan Embassy in abu Dhabi, UAE

Email: abudhabisikuradapasala@gmail.com

Address : The Embassy of Sri Lanka in UAE,
P.O. Box 45634, Abu Dhabi, UAE

© All right reserved | Abu Dhabi Dahampasala   |  Terms of Use  |   Privacy Policy

bottom of page