
වත්මන් ප්‍රධානාචාර්ය තුමාගේ පණිවිඩය!

“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ යන බුදු වදන පෙරදැරි කර ගෙන අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධයෙන් බිඳක් ලක්මවගේ උණුසුමෙන් ඈත් වී සිටින අපේම බොදු දරුවනට සෙනෙහසින් බෙදා දීමේ ඒකායන අරමුණ පෙරදැරි කර ගෙන ආරම්භ වූ සිකුරාදා දහම් පාසලේ විදුහල්පති ධූරය දැරීමට හැකි වීම මා ලද මහත් පුණ්‍ය ශක්තියක් හා භාග්‍යයක් කොට සලකමි.
පුරා වසර 27 කට වැඩි ප්‍රමාණයක් ධර්මය බෙදා දුන් අප දහම් පාසැල සාමාන්‍ය දහම් පාසල් වලට වඩා සුවිශේෂී දහම් පාසලක් බව සඳහන් කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකා මාතාවගේ උණුසුමින් ඈත් වී සහරාවේ සිටින අපේම හෙළ දරුවන්ගේ භාෂා දැනුම නගා සිටවීම, ජාති ආලය විදහා දක්වමින් ජාති මාමක හෙළ දරුවන් පිරිසක් බිහි කිරීම හා අපේ සංස්කෘතිය අපේ උරුමය අපේ සදාචාරය ලොවෙන් තුරන් වීමට නොදී මතු පරපුර සඳහා දායාද කිරීම මෙහි දී සිදු වෙන අනෙකුත් සුවිශේෂී සේවාවන් වේ.
අබුඩාබි තරුණ කැල විසින් 1991 වසරේ දී මෙම දහම් පාසල ආරම්භ කරමින් සිදුකරගනු ලැබුවේ මහත්ඵල කුසලානිශංස ධර්ම දානයකි. අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් පළමුව සිදුකරනු ලැබුවේද කළ ගුණ සැළකීමයි! ඒ අනුව මෙම දහම්පාසල ආරම්භ කිරීමට අදහස් පහලවූ එම තරුණ කැලෙහි සියලුම සාමාජිකයින්ටත්. එදා සිට අද දක්වා මෙම දහම් පාසැල පවත්වාගෙන යාමට අවසර ලබා දෙමින් කටයුතු කරන ශ්‍රී ලංකා ජනරජයේ අබුඩාබි තානාපති කාර්යාලයේ ගරු තානාපතිතුමන් ලාටත්, අබුඩාබි තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත්, බෞද්ධ කටයුතු පිලිබඳ කොමසාරිස් තුමාටත්, දහම්පාසල් අංශයේ උප කොමසාරිස් තුමා ඇතුළු එහි කාර්යය මණ්ඩලයටත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අප දහම්පාසලේ කටයුතු වලට සහයෝගය දක්වන සම්බන්ධීකරණ නිලධාරී තුමාටත්, එදා මෙදා තුර දහම් පාසලේ මුලිකත්වය ගෙන කටයුතු කල ප්‍රධානාචර්යතුමන් ලාටත්, දම් සිසිල බෙදා දුන් පෙර සහ වර්තමාන ගුරු මහත්ම මහත්මීන්ටත්, සියළුම දෙමව්පියන්ටත්, සියළුම සිසු දරු දැරියන්ටත්, නන් අයුරින් උදව් උපකාර කල සැමටත්, කෘත ගුණ සැළකීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
දිනෙන් දින දියුණු වන ලෝකයේ උදාවන දිනයක් දිනයක් පාසා තම තමන්ගේ ජීවන තත්ත්වය කුමන අයුරකින් හෝ උසස් කර ගැනීමට මාන බලන සමාජයක, දෙස බස රැසට හිමිවී ඇති ස්ථානය තවදුරටත් බලා නොසිට, එහි අභිවෘද්ධිය සඳහා අවවාදයට වඩා උතුම් වූ ආදර්ශය ලබා දෙමින් මෙම දහම් පාසල මෙහෙය වීම මාගේ ඒකායන අරමුණ බව සඳහන් කරනු කැමැත්තෙමි.
ජාතියක් අයාලේ යන්නේ ආගමක් හුදකලා වී සිටින්නේ සිහලුන් හෙළ ජාතියත් බොදුනුවන් බුද්ධාගමත් දෙවැනි කොට සලකන අවදියක් අද වර්තමාන සමාජය තුළ බිහි වී ඇති නිසා බව ප්‍රකට කරුණකි. එම සමාජ පසුබිම මත ම හිඳිමින් එම සමාජ තලය මිනිස් කමින් පිරි, ධීර වීර සූර හෙළ පුතුන් ලක්දිවට දායාද කිරීමට ගන්නා වූ මෙය වෑයම බුදුන් වහන්සේ පවා දක්ෂිණ දිසාව ලෙස දක්වමින් සඳහන් කළ ගුරු වෘත්තීයේ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම සඳහාම වන අතර “අද සෙල්ලම් ගෙවල් තනන දෑතින් හෙට මහා මන්දිර ඉදි කරනු දැකීම” මාගේ ඒකායන පැතුම බව ඔබේ අවධානය සඳහා මෙසේ සනිටුහන් කරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි !
මෙයට,
එස්.එම් සම්පත්
ප්‍රධානාචාර්ය.
අබුඩාබි සිකුරාදා දහම් පාසල